ලබන වසරේ පෙබරවාරි මස ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භවන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද ආරම්භ කෙරුණා.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ටිකට් පතක අවම මිල රුපියල් දහසක්.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 7 සිට මාර්තු 8 දක්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
කණ්ඩායම් 20ක් තරග වදින මෙවර තරගාවලියේදී පැවැත්වෙන මුළු තරග සංඛ්‍යාව 55ක්.
ඉන්දියාවේ ක්‍රීඩාංගණ 5කදී සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වෙන මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිල වශයෙන් ආරම්භ කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1000 ආරම්භක වටිනාකමේ සිට ප්‍රවේශපත් මිලදීගැනීමට හැකි බවයි.
එමෙන්ම ඉන්දියාවේ පැවැත්වෙන තරගවල එක් ප්‍රවේශපත්‍රයක ආරම්භක වටිනාකම ඉන්දීය රුපියල් සියයක්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වෙබ් අඩවියට පිවිසීමෙන් 20-20 ලෝක කුසලානයේ ප්‍රවේශපත් මිලදී ගැනීමට හැකියාව පවතිනවා.
පළමු අදියරේදී මිලියන 2 කට අධික ප්‍රවේශපත් සංඛ්‍යාවක් අලෙවි කෙරෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග කොළඹ ආර් ප්‍රේමදාස, පල්ලේකැලේ සහ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය ආරම්භ වන පෙබරවාරි 7 වැනිදා ඉන්දියාවේදී තරග 2ක් සහ ශ්‍රී ලංකාවේදී එක් තරගයක් පැවැත්විමට නියමිතව තිබෙනවා.
