ශ්‍රී ලංකාවට තවත් අවමන් සහගත පරාජයක්

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 67ක අමිහිරි පරාජයක් වැළඳ ගැනීමට සිදුවුණා.

සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ ලැබු ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියා.
ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදීයි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග විස්සයි විස්ස වරම් හිමිකරගත් අතර භානුක රාජපක්ෂ මාස 10කට පසු ජාත්‍යන්තර 20-20 තරගයක් සඳහා කණ්ඩායමට කැඳවා තිබුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දසුන් ශානක දෙවරක් නොසිතා පන්දුවට පහර දීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දුන්නා.

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 26කදී දවාගැනීමට මහීෂ් තීක්ෂණ සමත්වුණේ ශ්‍රී ලංකා පිලට බලාපොරොත්තුවක් එක් කරමින්.

අනතුරුව තමා යැවු මංගල විස්සයි විස්ස පන්දුවාරයේදීම කුළුදුල් විස්සයි විස්ස කඩුල්ල ලෙස සිම්බාබ්වේ පිලේ බ්‍රෙන්ඩන් ටේලර්ව දවාගැනීමට එෂාන් මාලිංග සමත්වුණා..

නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් සිකන්දර් රාසා, බ්‍රයන් බෙනට් සමඟ එක්ව ලකුණු 61ක සබඳතාවක් ගොඩ නැගුවේ සිම්බාබ්වේ කණ්ඩායමට බලාපොරොත්තුවක් එක් කරමින්.

බ්‍රයන් බෙනට් ලකුණු 49ක් රැස්කරගෙන සිටියදී දැවීගිය අතර රාසා ලකුණු 47ක් රැස්කරගෙන සිටියදි දැවීගියා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 162ක් රැස්කළා

වනිඳු හසරංග ලකුණු 32 ට කඩුලු 3ක් දවාගත් අතර එෂාන් මාලිංග ලකුණු 27 ට කඩුලු දෙකක් දවාගත්තා.

ලකුණු 163ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට ශ්‍රී ලංකා ඉනිම අරඹමින් පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

පළමු පන්දුවාර දෙක තුළ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු දෙක ලකුණු 6ක් තුළ දවාගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්වුණේ ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක්කරමින්.

ශ්‍රී ලංකාව පිතිකරුවන්ගේ දුර්වල සහ වගකීම් විරහිත පිතිකරණය හමුවේ තවත් ලකුණු 93ක් තුළ ශ්‍රී ලංකා සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයේ අසුන් ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවුනේ ලකුණු 95ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක ලකුණු 34ක් රැස්කළා.

සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ තරගය ලකුණු 67කින් ජයග්‍රහණය කළ අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ ඉහළ දළලකුණු ලබාගැනීමේ වේගයත් සමඟයි.

සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි විස්ස තරගයක් ශ්‍රී ලංකාවට එරෙහිව ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වනවා.

මේ අතර මෙම වසරේ සැප්තැම්බර් මාසයේදීත් ශ්‍රි ලංකා කණ්ඩායම සිම්බාබ්වේ හමුවේ ලකුණු 80කට සියලු දෙනා දැවී ගොස් ඇති අතර වසරක් තුළ මෙලෙස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 100ට අඩුවෙන් ශ්‍රි ලංකා පිලේ සියලු පිතිකරුවන් දැවීගිය දෙවන අවස්ථාව මෙයයි.

තවද, 2020 වසරේ සිට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි වැඩිම විස්සයි විස්ස තරඟ පරාජය වූ ආසියා කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා.

තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය හෙට පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *