2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සූදානම්ද ?

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් 20යි 20 තරගය දෙපිලටම තීරණාත්මක වූයේ එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවීමට නියමිතව තිබීම හේතුවෙන්.

කොළඹ ආර්.ප්‍රෙමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ ප්‍රෙව්ශපත්‍ර සියල්ල කලින්ම අලෙවි වී අවසන් වූ අතර ප්‍රෙක්ෂකයින් පැමිණියේ දහසක් බලාපොරාත්තුද පොදි බැඳගෙනයි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසන් වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 110ක් රැස්කරගෙන අසීරු අඩියකට වැටී සිටියත් ප්‍රෙක්ෂකයන්ට යම් අස්වැසිල්ලක් ලබාදෙමින් දසුන් ශානක අවසන් පන්දුවාරයට ලකුණු 22ක් රැස්කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 132ක් දක්වා රැගෙන යමින්.

බංග්ලාදේශය පන්දුවාර 16යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඒ ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරගාවලි ජයක් හිමිකර ගනිමින්.

පසුගිය මාස දෙකක කාලය තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවති 20-20 තරගාවලියත් පාකිස්තානය සමග පැවති 20-20 තරගාවලියත් පරාජයට පත්ව පැමිණි බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීම ක්‍රිකට් විචාරකයින්ගේ කතාබහට ලක්වුණා.

බලාපොරොත්තු පොදිබැඳගෙන පැමිණ සිටි ප්‍රෙක්ෂකයින් තරගයෙන් පසු ක්‍රීඩාංගණයෙන් පිටව ගියේ දැඩි කලකිරීමකින්.

බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙක ජයගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා 20යි 20 තරගාවලිය තුළදී දක්නට නොලැබීම කනගාටුවට කරුණක්.

කණ්ඩායමේ තේරීම් පිළිබඳවද පවතින්නේ ප්‍රශ්නාර්ථ රැසක්.

පසුගිය තරගාවලි කිහිපයකම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියටද කැඳවා තිබූ අතර පල්ලෙකැලේ පැවති පළමු 20යි 20 තරගයේදී කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඉතා පහසුවෙන් පන්දුවට පහරදෙද්දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17කින් නොදැවී රැස් කරගත්තේ ලකුණු 11ක් පමණයි.

දෙවැනි තරගයේදීත් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 5කදී ලකුණු 2ක් පමණක් රැස් කරගනිමින් අසාර්ථක වූයේ ඔහුට කණ්ඩායමේ පළමු 11දෙනා අතර ස්ථානයක් ලබාදීම කෙතරම් නිවැරදි තීරණයක්ද යන ගැටලුව ඉතිරි කරමින්.

එමෙන්ම තුන්ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමට කැඳවූ චාමික කරුණාරත්න තරග දෙකේදීම යොමු කළේ පන්දුවාර තුනක් පමණක් වන අතර පන්දුවට පහරදීමට ලැබුණු එකම අවස්ථාවේදීත් ඔහු කලක් තිස්සේ දුර්වලත්වයක් පෙන්නුම් කරන දඟපන්දු යවන්නන් හමුවේ පන්දු 2කට පමණක් මුහුණදී දැවී ගියා.

එමෙන්ම ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකේදී විශිෂ්ට ලෙස පන්දු රැකීම සිදුකළ ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 තරගාවලියේදී ඉතා දුර්වල ලෙස පන්දු රැකීමද තරගාවලියේ පරාජයට හේතුවක් වුණා.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ 2026 වසරේ පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඇත්තේ මාස 6ක පමණ කාලයක්.

නමුත් 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස තරග 14 කට ක්‍රීඩා කර තිබුණත් ඉන් 5 ක් පමණක් ජයගෙන ඇත්තේ එම තරග රටාවේ කැපීපේන පසුබෑමක් පෙන්නුම් කරමින්.

ඒ අතරින් මෙරට තුළ ඔවුන් ක්‍රීඩා කළ තරග 11න් 4 ක් පමණක් ජය ගෙන ඇත්තේ සත්කාරකත්වයේ වාසියද ලබාගැනීමට අපොහොසත් වෙමින්.

එවන් පසුබිමක 2024 ලෝක කුසලානය අවසන් වී වසරක් ගතවෙද්දීත් ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් කණ්ඩායමේ සංයුතිය හරිහැටි සකස් කරගැනීමට නොහැකි නම් ලෝක කුසලානයක් ගැන බලාපොරොත්තු තබන්නේ කෙසේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *