ඉන්දියාව නිසා රස්තියාදු වෙන ශූරයන්ගේ කුසලානය

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සැලැස්ම ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව මූලික වටය නිම කිරීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.

ඒ තරගාවලියේ මූලික වටය යටතේ පැවති අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායම ලකුණු 44කින් පරාජයට පත්කරමින්.

ඩුබායිහිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායමේ පළමු කඩුළු 3 ලකුණු 30ක් තුළ දැවී ගියත් ශ්‍රෙයාස් අයියර්, අක්සාර් පටෙල් සහ හර්දික් පාණ්ඩ්‍යා එක්ව ඉන්දියා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන ගියා.

ශ්‍රෙයාස් අයියර් ලකුණු 79ක්, අක්සාර් පටෙල් ලකුණු 42ක් සහ හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 45ක් රැස් කළා.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 249ක්.

ලකුණු 250ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු 3කදී සියළු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 205ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වරුන් චක්‍රවර්ති ලකුණු 42කට කඩුලු 5ක් දවාගත්තා.

එම ජයත් සමග ඉන්දියාව අපරාජිතව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඊයේ තරගය පරාජය වුවත් නවසීලන්තයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

කෙසේ වෙතත් ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සැලැස්ම ක්‍රීඩකයින්ගේ මෙන්ම ක්‍රීඩා විචාරකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ඊට හේතුව තරගාවලිය පුරා ඉන්දියාව ඩුබායිහි රැඳී සිටිමින් එකම ක්‍රීඩාංගණයක තරග වදිද්දී, අනෙක් කණ්ඩායම්වලට පාකිස්තානයේ සිට ඩුබායි දක්වාත්, ඩුබායි සිට පාකිස්තානය දක්වාත් වරින් වර සංචාරය කරමින් තරග කිරීමට සිදුවීමයි.

මේ අතර ඊයේ පැවති ඉන්දියා – නවසීලන්ත තරගයේ තීරණය අනුව ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකෙන් එකකට සිදු වන බැවින් එම කණ්ඩායම් දෙකම ඊයේ උදෑසනම ඩුබායි වෙත පැමිණ සිටියා.

ඉන්දියාව තරගය ජයගැනීම නිසා ඔවුන් සමඟ අවසන් පූර්ව තරගයට අවස්ථාව හිමිවූයේ ඔස්ට්‍රේලියාවටයි.

ඒ අනුව දකුණු අප්‍රිකාවට සහ නවසීලන්තයට අවසන් පූර්ව තරගයට සහභාගි වීම සඳහා නැවතත් ඩුබායි සිට පාකිස්තානය බලා යාමට සිදුවුණා.

අනෙකුත් කණ්ඩායම්වලට මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ ඉන්දියාව පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *