ධරම්ශාලාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.
ඒ අනුව ඕස්ට්‍රේලියා ඉනිම ඇරඹූ ඩේවිඩ් වෝනර් සහ ට්‍රැවිස් හෙඩ් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 19යි එක් පන්දුවකදී ලකුණු 175ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා.
ට්‍රැවිස් හෙඩ් පන්දු 67කදී ලකුණු 109ක් රැස් කරගත් අතර ඩේවිඩ් වෝනර් පන්දු 65කදී ලකුණු 81යි.
ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් ලබාදුන් වේගවත් ආරම්භය පවත්වාගෙන යාමට මැදපෙල පිතිකරුවන් අසමත් වුවත් මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ජොස් ඉංග්ලිස් සහ පැට් කමින්ස්ගේ දායකත්වයෙන් ඕස්ට්‍රේලියාව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 2කදී සියළු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 388ක්.
ලකුණු 389ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නවසීලන්ත පිලේ පලමු කඩුළු 2 ලකුණු 72ක් තුළ දැවීගියත් යොවුන් පිතිකරු රචින් රවින්ද්‍ර පන්දු 89කදී ලකුණු 116ක් රැස්කරමින් දියත් කළ සටන්කාමී ඉනිම හේතුවෙන් නවසීලන්තයට ජයග්‍රහණය පිලිබඳ බලාපොරොත්තු තබාගැනීමට හැකිවුණා.
නවසීලන්තයට අවසන් පන්දුවාර 10ට ලකුණු 97ක ඉලක්කයක් හිමිව තිබූ අතර ජිමී නීෂම් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් නවසීලන්ත පිල ජයග්‍රාහී ඉලක්කය අසලටම රැගෙන ගියා.
නවසීලන්තයට අවසන් පන්දුවාර 2දී ලකුණු 32ක ඉලක්කයක් හිමිවූවත් ඔවුන්ට එම පන්දුවාර 2දී රැස්කරගත හැකිවූයේ ලකුණු 26ක් පමණයි.
ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 383ක් රැස්කළ අතර ඕස්ට්‍රේලියාවට ලකුණු 5ක තියුණු ජයක් හිමිවුණා.
