වසර 24කට පසු දකුණු අප්‍රිකාව ලැබූ ජය

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් පාකිස්තානය පරාජය කරමින් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

දකුණු අප්‍රිකා කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයකදී පාකිස්තානය පරාජය කළේ වසර24කට පසුවයි.

චෙන්නායිහිදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 46යි පන්දු 4කදී සියළු දෙනා දැවි රැස්කරගත්තේ ලකුණු 270ක් පමණයි.

පාකිස්තානය එක් අවස්ථාවක කඩුළු 5ක් දැවී ලකුණු 225ක් රැස් කරගෙන ප්‍රබල ස්ථානයක පසුවුවත් පාකිස්තාන ඉනිමේ අවසන් කඩුළු 5 ලකුණු 45ක් තුළ දැවීයාමෙන් පාකිස්තාන ඉනිම බිඳ වැටුණා.

පාකිස්තානය වෙනුවෙන් සවුද් ශකීල් ලකුණු 52ක් රැස් කරගත් අතර නායක් බාබර් අසාම් ලකුණු 50යි.

ටබ්‍රේස් ශම්සි ලකුණු 60කට කඩුළු 4ක් දවාගත්තා.

ලකුණු 271ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා පිල පන්දුවාර 36යි පන්දු 4ක් අවසන් වනවිට කඩුළු 5ක් දැවී ලකුණු 235ක් රැස්කරගනිමින් තරගයේ පාලනය් සියතට ගෙන සිටියා.

ඒඩන් මාක්‍රම් ලකුණු 91යි.

නමුත් බලාපොරොත්තු නොවූ අයුරින් ලකුණු 25ක් තුළ දකුණු අප්‍රිකා ඉනිමේ කඩුළු 4ක් දැවීගියේ තරගයේ ජය දෙපිලටම විවර කරමින්.

පාකිස්තාන පන්දු යවන්නන් දකුණු අප්‍රිකා අවසන් කඩුල්ල දවාගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණත් එක් අන්තයක් ආර්ක්ෂා කරගනිමින් අවස්ථානෝචිතව පන්දුවට පහරදුන් කේෂව් මහරාජ් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රාහී සීමාව වෙත රැගෙන යාමට සමත්වුණා.

ඒ අනුව තියුණු සටනකින් පසු පන්දුවාර 47යි පන්දු 2කදී කඩුළු 9ක් දැවි දකුණු අප්‍රිකාව ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එම ජයත් සමග දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුණා.

ශ්‍රි ලංකාව තවමත් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 5 වැනි ස්ථානයේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *