2023 Fide World Cadets චෙස් තරගාවලිය පසුගිය දිනවල ඊජිප්තුවේ දී පැවැත්වුණා. එම තරගාවලියේ 12න් පහළ බාලිකා තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන සහභාගි වුණා.
1700ක ලෝක ශ්‍රේණිගතකිරීම් අගයක් හිමි මෙම ක්‍රීඩිකාව තරගාවලිය ආරම්භයේ සිට ඉතාමත් දක්ෂ ලෙස තරග වැදුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය තරග වට 11කින් ලකුණු 9.5ක් ලබාගෙන එම ඉසව්වේ රන් පදක්කම සිය රටට දිනාදුන්නා. එය ශ්‍රී ලංකාව මෙම තරගාවලි ඉතිහාසය තුළ දිනාගත් පළමු පදක්කම බවට පත් වුණා.
එහි දී ඇය අපරාජිතව එම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා. එම ජයග්‍රහණය වාර්තා කිරීමේ දී ඇය අසර්බයිජානය, තුර්කිය, රුසියාව, ආර්මේනියාව සහ කසකස්තානය වැනි ප්‍රබල රටවල්වල ක්‍රීඩිකාවන් හමුවේ ජයග්‍රහණය වාර්තා කළා.
ලොව සෑම රටකම ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන මෙය අතිශය තරගකාරී තරගාවලියක්. එවැනි තරගාවලියකින් රන් පදක්කමක් දිනාගැනීම ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රබල අභියෝගයක්. එම අභියෝගය සාර්ථකව භාරගත් ඔෂිනි ගුණවර්ධන සිය රටට දිනාදුන් මෙම රන් පදක්කම ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩාව ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයක්.
මීට පෙර මෙම තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාවයක් දැක්වූයේ හර්ෂණ තිලකරත්නයි. ඒ 2011 වසරේ බ්‍රසීලයේ පැවති තරගාවලියේ දීයි. එදා තරග වට 9කට සහභාගි වුණු හර්ෂණ ලකුණු 7.5ක් ලබාගෙන තරගකරුවන් 4 දෙනෙකු සමඟ සම ශූරතාවය දිනාගත්තා. නමුත් ඉන් පසුව සිදු කළ සමතාවය බිඳීමෙන් පසුව (Tie Breaks) හර්ෂණට හිමි වුණේ සිව්වන ස්ථානයයි.

