ශ්‍රී ලංකා පාපන්දුවෙන් කලකට පසු සුපිරි පිම්මක්

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ කාම්බෝජයට එරෙහි පැවති දෙවන තරගය ජය ගැනීමත් සමගයි.

ශ්‍රී ලංකාව මෙලෙස ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයට පත් වූ වසර 6කට පසුවයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගත වූ වසර කිහිපයකදීම දැඩි පසුබෑමකට ලක්ව සිටි අතර ඒ අනුව ශ්‍රී ලංකාව වසර ගණනක් අවසන් කණ්ඩයම් 6 අතර සිටියා.

කෙසේ වෙතත් ගත වූ වසරේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කැපී පෙනන දක්ෂතා දැක් වූ අතර ඒ අනුව යළිත් මෙරට තුළ පාපන්දු ක්‍රීඩාවේ පිබිදීමක් ඇති වුණා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් සහ පුහුණුකරුවන් ලොව වටා සිටින ශ්‍රී ලංකා සම්භවයක් සහිත දක්ෂ යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ද ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කර ගනිමින් ජාතික කණ්ඩායම සවිබල ගැන්වූයේ දිගු කාලීන සැලසුමක් අරඹන්.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාස කිහිපයේදී ශ්‍රී ලංකා පාපන්දු පිලට පැපුව නිව් ගිනියා, භූතානයට එරෙහිව දස්කම් දැක්වීමට හැකියාව ලබුණු අතර ඉකුත්දා පැවති ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේදී කාම්බෝජයට එරෙහිවද සුපිරි දක්ෂතා ප්‍රදර්ශනය කළා.

කාම්බෝජයට එරෙහිව පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළ ශ්‍රී ලංකාව, දෙවන තරගය දඩුවම් පහර අවස්ථාවේදී ජය ගත්තේ මෙරට පාපන්දු ලෝලීන්ට කලකට අමතක නොවන ජයග්‍රහණයක් අත්කර දෙමින්.

මෙම තරගයට පෙර ශ්‍රී ලංකා ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වන 204 වැනි ස්ථානයේ පසුවූ අතර මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙලෙස ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි තැනට පත්වූයේ වසර 6කට පසුවයි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කාම්බෝජයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමග මේ වන විට ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබිමේ තරගාවලියේ තුන්වැනි වටයද පිවිසියා.

මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දැන් සිටම සූදානම් කිරීමේ කටයුතු ජස්වර් උමාර් ප්‍රමුඛ ශ්‍රී  ලංකා පාපන්දු සම්මේලනය ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *