ජාතික සුපර් ලීග් වයස අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී මහනුවර කඩුලු 10කින් පරාජය කරමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති ජාතික සුපර් ලීග් වයස අවුරුදු 19 න් පහළ බාළිකා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතරයි.
පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම ලකුණු 87කට සීමා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්වුණා.
නිරාෂා ගිම්හානි නොදැවී ලකුණු 14ක් රැස් කළ අතර විමෝක්ෂා බාලසූරිය සහ මිතලි අයෝධ්‍යා ලකුණු 12 බැගින් රැස් කළා.
පන්දුයැවීමේදී හිරුණි හංසිකා ලකුණු 12කට කඩුලු 4ක් සහ චමෝදි මුණසිංහ කඩුලු 3ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවා.
ලකුණු 88ක පහසු ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 5ක් අවසානයේ කිසිවෙකු නොදැවී ජයග්‍රාහී සීමාව පසුකර යමින් අවසන් තරගය ජය ගත්තා.
ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය හිරුණි හංසිකා පන්දු 37 කදී හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 41 ක් සංජනා කාවින්දි පන්දු 35 කදී ලකුණු 27 ක් බැගින් රැස් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් උපදේශිකාවක මෙන්ම කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකාවක් ලෙසින් කටයුතු කරන රසාංජලී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ දක්ෂම ක්‍රීඩිකාව ලෙසින් ලකුණු 41 ක් රැස් කළ ගාල්ල කණ්ඩායමේ හිරුණි හංසිකා සම්මාන දිනා ගත්තා.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස තරග 6 කදී කඩුලු 9 ක් දවා ගත් ගාල්ල කණ්ඩායමේ ෂෙහාරා ඉඳුවරී සම්මාන දිනා ගත් අතර දක්ෂතම පිතිකාරිණිය ලෙස තරග 6 කදී ලකුණු 125 ක් රැස් කළ ගාල්ල කණ්ඩායමේම සංජනා කාවින්දි සම්මාන දිනා ගත්තා.
තරගාවලයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තරග 6 කදී පිත්තෙන් ලකුණු 139 ක් සහ පන්දු යවමින් කඩුලු 4 ක් දවා ගත් කොළඹ කණ්ඩායමේ දහමි සෙනෙත්මා සම්මාන දිනා ගත්තා.
අනුශූතරව දිනා ගත් අෂේන් තලගුණේගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායමට මුදලින් රු. ලක්ෂ 2 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණු අතර ශූරතාව දිනූ ගාල්ල කණ්ඩායමට කුසලානය සමග රුපියල් ලක්ෂ 3ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.






