මහේල ඉල්ලා අස්වෙන්න හේතුව හෙළිවෙයි

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.

මහේලගේ ඉල්ලා අස්වීමට හේතුවූ කරුණු පිලිබඳ ක්‍රීඩා පුවත් ලිපි රචකයෙක් තැබූ ෆේස්බුක් සටහනක් පහතින් දක්වා ඇත.

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මුල්ම තරගයට පෙර පැවැත්වූ කණ්ඩායම් සාකච්ඡාවකට, ලිඛිතව ඉදිරිපත් කර තිබූ සටහනක් දැකගත හැකි විය.

එය දැක මා වික්ෂිප්ත වූ බව කිවහොත් වැරදි නැත.

එම සටහන කණ්ඩායම් රැස්වීමට ලිඛිතවම ඉදිරිපත් කර තිබුණේ කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන විසිනි.

ඔහු එහි සඳහන් කර තිබුණේ පළමු තරග දෙක සඳහා ශ්‍රී ලංකාව අවම වශයෙන් විශේෂඥ වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කළ යුතු බවයි.

මහේල සිය මතය ලිඛිතව ඉදිරිපත් කර තිබුණේ ඉන්පෙර කණ්ඩායම් රැස්වීම් වල ඒ වෙනුවෙන් තර්ක කර අවසානයේදීයි.

ඔහුගේ මතයට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් එකඟ වී තිබුණි.

එනමුත් කණ්ඩායම් රැස්වීම තුල ඔහුගේ මතයට දෙදෙනෙක් විරුද්ධ වී තිබේ.

පළමුවැන්නා උපදේශන පුහුණුකරු සනත් ජයසූරියයි. දෙවැන්නා නායක වනිඳු හසරංගයි.

ඇමෙරිකාවට පා තැබූ දින පටන් ඔවුන් දෙදෙනාගේම මතය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රබල තැන (Strength) දඟ පන්දුව නිසා, විශේෂඥ දඟ පන්දු යවන්නන් දෙදෙනෙක් ක්‍රීඩා කළ යුතු බවයි.

මේ තනතීරු වල එය සාර්ථක නොවනු ඇති බවටත්, ඩිල්ෂාන් මදුශංක සහ චමීර ක්‍රීඩා කරවිය යුතු බවත් මහේලගේ අදහස වී තිබුණි.

මහේල සිය මතය වෙනුවෙන් බොහෝ ක්‍රිකට් කරුණු සමග තර්ක කර තිබුණි.

නමුත් කණ්ඩායම් රැස්වීම් තුල නායකයාගේ සහ ජ්‍යේෂ්ඨ සනත්ගේ මතයන් නිසා මහේලගේ මතය පරාජයට පත් වී තිබේ.

කණ්ඩායමේ පුහුණු තරග වල දසුන් ශානක කැපීපෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

එමනිසා කිසිසේත්ම අවසන් ක්‍රීඩකයන් එකොලොස්දෙනාගෙන් ඔහු ඉවත් කළ නොහැකි වී තිබුණි.

විශේෂඥ වේග පන්දු යවන්නෙකු යොදවා ගත හැකි ඉතිරි ස්ථානය ඇන්ජලො මැතිවුස් වෙනුවෙන් වෙන්විය.

මැතිවුස් කණ්ඩායමෙන් ඉවත් කිරීමට වනිඳු දැඩි ලෙස විරුද්ධ වීම නිසාත්, මැතිවුස් වනිඳුගේ අනිවාර්ය ඉල්ලීම නිසාත් දසුන් සහ මැතිවුස් දෙදෙනාටම අවසන් එකොලොස්දෙනා තුල ඉඩක් වෙන්ව තිබුණි.

එය බැලූ බැල්මට මූලික ක්‍රිකට් මූලධර්ම කඩකිරීමකි.

ශ්‍රී ලංකාවේ ප්‍රබල තැන දඟ පන්දුව බවට සනත්ගේ නිගමනය නිසා මහීෂ් තීක්ෂණ ද කණ්ඩායමට එක්විය.

ඒ අනුව එක්කරගත හැකිව තිබුණේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු පමණි.

එම ස්ථාන දෙක සඳහාත් තෝරාගත්තේ විශේෂඥ T20 වේග පන්දු යවන්නන් දෙදෙනායි.

මහේල සිය මතය වෙනුවෙන් සටන් කර, අවසානයේ එය ලිඛිතව පවා ඉදිරිපත් කර තිබුණේ ඉතිහාසය විසින් නිදොස් වීම උදෙසා විය හැක.

අවසානයේ මහේලගේ අදහස නිවැරදි බව ඔප්පු විය.

සනත් සහ වනිඳුගේ මතයන් සමග ශ්‍රී ලංකාවද අන්ත පරාජයකට ලක් විය.

දකුණු අප්‍රිකාව එම තරගයට ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නන් සිව්දෙනෙකු සමගිනි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමගිනි.

ඔවුන් දෙදෙනා ද හරස් අතින් පන්දු යවන වේග පන්දු යවන්නන් විනා, මහේල ගේ නිගමනය වූ “සීමය” බිම වද්දා පන්දු යවන වේග පන්දු යවන්නන් ක්‍රීඩා කළේ නැත.

එදින කාසියේ වාසියෙන් අනතුරුව ලබා ගත් තීරණය පවා වැරදුණි.

එම තීරණ සියල්ල පසුපස සිටියේ නායක වනිඳු සහ උපදේශන පුහුණුකරු සනත් ජයසූරියයි. ඒවා පෙර සිටම ලබා ගෙන තිබූ තීරණ මිසෙක ඒ මොහොතේ දත්ත මත පදනම්ව ලබා ගත් තීරණ හෝ නොවේ.

ලෝක කුසලානයෙන් පසුව මහේල ජයවර්ධනගේ ඉල්ලා අස් වීමට හේතුව වී තිබෙනුයේත් මේ සිදුවීම් ය.

මහේලගේ ක්‍රිකට් දැනුම සහ කියවීම සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ තර්ක කළ නොහැකිය.

ඔහු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම විශේෂඥයෙකි.

ඔහුගේ සුදුසුකම ක්‍රීඩා කරනා සමයේ අති විශිෂ්ඨයෙකු වීම පමණක් නොවේ.

ඔහු විශිෂ්ඨ තරග කියැවීමක් සහිත නායකයෙකි. ඉන්පසුවත් පුහුණුකරුවෙකු ලෙස නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ ඔප්පු කර තිබෙනා පුද්ගලයෙකි.

එවැන්නෙකුට සිය මතය කුණු කූඩයට විසි වෙනවා නම්, ඉන්පසුව පරාජය වීමෙන් පසුව දෝෂාරෝපන පමණක් එල්ල වෙනවා නම් ඔහුට එම තනතුරෙහි නාමමාත්‍රිකව පමණක් රැදී සිටිමෙන් ඵලක් නැත.

නමුත් ශ්‍රී ලංකාවේ ශක්තිය දඟ පන්දුව යැයි කියා, ඒ ඔස්සේ වැරදි කියවීමකින් තරග පරාජයට මග කියූ සනත් ජයසූරියට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාරීත්වය ද හිමිව තිබේ.

සනත් ජයසූරිය ක්‍රීඩකයෙකු ලෙස මාගේ ප්‍රියතම ක්‍රීඩක ලයිස්තුවේ ඉහළින්ම සිටියි.

ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ, අති විශිෂ්ඨ පුරාවෘත්තයකි.

ක්‍රීඩකයෙකු වශයෙන් ඔහුට හිමි ආදරය, ගෞරවය සහ වටිනාකම ලබා දීමට කිසිවෙකුත් මැලිවිය යුතු නොවේ.

ඔහු මාධ්‍ය ඉදිරියේ ද ව්‍යක්තව වචන හසුරවමින්, රසිකයන්ගේ ආදරය දිනා ගැනීමට සමත් දක්ෂ කථිකයෙකි.

එනමුත් වෘත්තීය කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරුවෙකු වීමට තරම් ඔහු සතුව තරග කියැවීමක් හෝ විශේෂඥ දැනුමක් ඇත්දැයි මෙවැනි සිදුවීම් යළි යළිත් ප්‍රශ්න කරයි.

මන්ද නූතන ක්‍රිකට් යනු මාධ්‍ය ඉදිරියේ සරල ක්‍රිකට් තොරතුරු රසිකයාට ඒත්තු ගැන්වීමට වඩා සංකීර්ණ කර්ත්‍යවයකි.

එහි ප්‍රධාන පුහුණු තනතුරක් දැරීමට විශාල දැනුමක්, කියවීමක්, මානව කළමණාකරනයක් සහ බුද්ධිමය ධාරිතාවක් අවශ්‍යය.

එවැනි හැකියාවක් තිබූ මහේල ජයවර්ධන, 2024 T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ඉරණම සම්බන්ධයෙන් නිදොස් විය යුතුය.

  • Ireshan Siriwardhana –
    Copied ©️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *