ශූරියන් වූ චමරි ප්‍රමුඛ කාන්තා පිල දිවයිනට

තරග ජයග්‍රහණයේදීත් පරාජයේදීත් තම කණ්ඩායම සමඟ සිටීම ගැන සියලුම ක්‍රීඩාලෝලීන්ට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසනවා.

ඇය තවදුරටත් සඳහන් කළේ ලෝක කුසලානයට පෙර තරගාවලි කිහිපයක්ම පැවැත්වෙන බැවින් ඒ සියලුම තරගාවලි ජයගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් හොඳ ජයග්‍රහණ රැසක් ලබාදීම තමන්ගේ අරමුණ බවයි

ඇය මේබව සඳහන් කළේ අබුඩාබි සිට අද අලුයම යළි දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතමින්.

20-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබිමේ තරගාවලියේ අවසන් මහා තරගය ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පසුගියදා පැවැත්වුණා.

එම අවසන් තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින් ශූරතාව හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුණේ 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගනිමින්.

එම ජයග්‍රහණය ලැබු චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණියා.

20 -20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 3 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන අතර ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා A කාණ්ඩයෙන් තරග වදිනවා.

එම කාණ්ඩයේ අනෙක් රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව , ඉන්දියාව , පාකිස්තානය සහ නවසීලන්තයයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වෙනු ඇති.

මාධ්‍ය අමතමින් චමරි අතපත්තු පැවසුවේ සිය සමුගැනීම පිළිබඳ තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *