පසුගියදා මහනුවර, පල්ලේ කැලේ දී අවසන් වූ “ලෙජන්ඩ් ට්‍රෝපි 2024” තරගාවලියේදී මුදලට තරග පාවාදීම සදහා බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාල ඉන්දීය ජාතිකයා විසින් ගොනුකර තිබූ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව දැනුම්දී සිටියා.
සැකකාර ඉන්දීය ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට එරෙහිව අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබෙන බව සඳහන් කළා.
ඔහු රෝගී තත්ත්වයකින් පසුවන බැවින් ඔහුට විදේශගතවී පැමිණීම සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා විරෝධය පළ කළා.
මෙම සැකකාර ඉන්දීය ජාතිකයා මුදලට තරඟ පාවාදීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සමඟ සාකච්ඡා කර ඇති බවත් උපුල් තරංග විසින් ක්‍රීඩා දුෂණ වැළැක්වීමේ අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් පැවසුවා.
මෙම සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණය වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුවේ මේ වන විට අධි චෝදනා ගොනු කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.
ඒ අනුව විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන බවත් ඔහු පැවසුවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 17 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
මේ අතර අදාල තරගාවලියේදී නවසීලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීමේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ පන්ජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකරු වූ පැචලෝඩියා ආකාශ් නමැති ඉන්දීය ජාතිකයා ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම සැකකරු අදාළ තරගාවලියට සහභාගී වූ නවසීලන්ත ක්‍රීඩකයෙකු සමග මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන බව පැවසුවා.
පන්දු දහයකදී ලකුණු දහතුනකට අඩු සංඛ්‍යාවකට දැවී යන ලෙස මෙහිදී සැකකරු විසින් අදාළ නවසීලන්ත ජාතික ක්‍රීඩක නීල් බෲම් වෙත යෝජනා කර ඇති අතර ඉන් පසුව එම නවසීලන්ත ක්‍රීඩකයා විසින් ක්‍රිකට් දූෂණ වැළැක්වීමේ කමිටුවට කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.
මෙම සැකකරුට එරෙහිව ඉදිරි දින කිහිපය තුළදී මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොණු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ඔහු ඇපමත මුදා හැරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවත් රජය නීතිඥවරයා සඳහන් කළා.
මෙහිදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුට අදාල විමර්ශන අවසන් කොට ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට සූදානම් වන්නේ නම් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයිදැයි රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කළා.
ඉන් අනතුරුව අදාල සැකකරු රුපියල් ලක්ෂ පනහක මුදල් ඇප සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කලා.
ඉන් අනතුරුව අදාළ සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැන වූ මහේස්ත්‍රාත්වරයා නඩුව නැවත මැයි මස 17 වනදා කැදවන ලෙසද නියෝග කළා.
