මෙවර එක්දින ලෝක කුසලානයේදී අඛණ්ඩව පස්වන ජයග්‍රහණය ලබමින් අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා.ඒ මූලික වටය යටතේ අද පැවති තරගයේදී නවසීලන්තය පරාජයට පත්කරමින්.
අද පස්වරුව දක්වා ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායම් දෙක වූ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය පැවැත්වුණේ ධරම්ශාලා හිදීයි.එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කණ්ඩායමේ පළමු කඩුළු 2 ලකුණු 19ක් තුළ දැවී ගියා.
නමුත් තුන්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ රචින් රවින්ද්‍ර සහ ඩැරල් මිචෙල් බිඳ වැටුණු නවසීලන්ත ඉනිම ගොඩනැගුවේ වාර්තාගත ලකුණු 159ක සබඳතාවක් ගොඩනගමින්.එක්දින ලෝක කුසලානයකදී ඉන්දියාවට එරෙහිව නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙක් ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළම සබඳතාව මෙයයි.
එහිදී සිය පස්වන ශතකයත් සමගින් ඩැරල් මිචෙල් ලකුණු 130ක් රැස්කළා.රචින් රවින්ද්‍ර ලකුණු 75යි.ඒ අනුව නවසීලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ සියළුදෙනා දැවි ලකුණු 273ක් රැස්කළා. විශිෂ්ඨ පන්දු යැවීම නිරත වූ මොහොමඩ් ශාමි ලකුණු 54කට කඩුළු 5ක් දවාගත්තා
ලකුණු 274ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව පන්දුවාර 48ක් තුළ කඩුළු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.ඉන්දියා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වූ සුපිරි පිතිකරු විරාත් කෝලි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 95ක්.
ඒ අනුව විරාත් කෝලිට 49වැනි එක්දින ශතකය ගිලිහී ගිය අතර වැඩිම එක්දින ශතකවල හිමිකරුවාවන සචින් තෙන්ඩුල්ර්ගේ වාර්තාව සම කිරීමට තිබූ අවස්ථාවද අහිමිවුණා.අද රැස්කළ ලකුණු 95ත් සමග කෝලි වැඩිම ජාත්‍යන්තර එක්දින ලකුණු ලබාගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණි අතර ඔහු සුපිරි පිතිකරු සනත් ජයසූරියව පසුකර ගියා.

අද ලැබූ ජයත් සමගින් ඉන්දියාව අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.ඒ අනුව මෙවර තරගාවලියේ මේ දක්වා එකම අපරාජිත කණ්ඩායම වන්නේ ඉන්දියාවයි.
