ICCයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ඝට්ටනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2024 වාර්ෂික සමුළුව සහ ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා මේ බව ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලඩයිස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත යොමුකළ ලිපියේ සඳහන් වන්නේ 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල සමුළුව සහ ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි කිහිපයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට නම් , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීන්තවය තහවුරු කළ යුතු බවයි.

2024 වසරේ වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලිය , 2026 වසරේ 20 -20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය සහ 2027 වසරේ කාන්තා විස්සයි විස්සයි ලෝක කුසලානයේ මූලීක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

එම තරගාවලි ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නම් ඡන්දයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් වලින් තොර සහායෝගයක් රජයෙන් ලැබෙන බව තහවුරු කළයුතු යැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය යොමු කළ ලිපියේ සඳහන්.

රිඩා අමාත්‍යවරයාගේ ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් එවැනි බලපෑම් ඇතිවිය හැකිබව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

මෙම තත්වය මත ශ්‍රී ලංකාවට ආර්ථිකමය ප්‍රතිලාභ හිමිකරගත හැකි ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර තරගාවලි සදහා සත්කාරකත්වය ලබාදීමේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රජය අතර ස්ථාවර සහයෝගීත්වයක් ඇතිකරගත යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන සහතිකය මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් අදාළ ලිපියේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *