බංග්ලාදේශයට පාඩමක් ඉගැන්වූ ශ්‍රී ලංකාවට තවත් තරගාවලි ජයක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් අලුත් කරමින්, බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අද ලකුණු 192කින් ජයගැනීමත් සමගයි.

මෙම තරගාවලි ජයත් සමග ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

චොටොග්‍රෑම් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළුදෙනා දැවී ලකුණු 531ක් රැස්කර ගැනීමට සමත් වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් රැස්කරගත් අතර කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් රැස්කළා.

තම පළමු ටෙස්ට් ඉනිම 4දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාව සම කිරීමටද කමිදු මෙන්ඩිස් මෙම තරගයේදී සමත් වුණා.

එමෙන්ම කිසිඳු පිතිකරුවෙකු ශතකයක් වාර්තා නොකර ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 531 වාර්තා අතරට එක්වුණා.

අනතුරුව පිලිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශයට සියළුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණයි.

ලකුණු 353ක වාසියක් සමගින් සිය දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව කඩුළු 7ක් දැවී ලකුණු 157ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූයේ බංග්ලාදේශයට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබාදෙමින්.

එම ඉලක්කය හඹාගිය බංග්ලාදේශය අද දිනය අරඹනවිට කඩුළු 7ක් දැවී ලකුණු 268ක් රැස්කරගෙන සිටියා.

අද දිනයේ පන්දුවාර 18ක් තුළදී බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුළු 3 දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ දෙවන ඉනිම ලකුණු 318කට සීමා කිරීමට සමත් වුණා.

ඒ අනුව තරගය ලකුණු 192කින් ජයගත් ශ්‍රී ලංකාව තරග දෙකකින් සමන්විත තරගාවලිය ජයගත්තේ තරග 2ට 0ක් ලෙසයි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් කඩුලු 33ක් දවාගත් අතර එය වාර්තා අතරට එක්වූයේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසයි.

බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ආරම්භයේදී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව පළමු තරග ජයත් සමග 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර තරගාවලි ජයත් සමග සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද හිමිකර ගත්තේද කමිඳු මෙන්ඩිස්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *